Connect with us

ආහාරපාන

කෑම හදන්න ආස අයට අනිවා ප්‍රයෝජනවත් වන Youtube Channel 5ක් – Hela FM Media

Published

on


 

කෑම හදන්න විදි ඩෙයටි. සමහරු වැරදි වැරදි හදාගන්නව, සමහරු අම්මලගෙන ඉගෙනන්නව, අනිත් ගොඩක් අය එක එක තැන්වල රෙසිපිවලින් ඉගෙන ගන්නව. ඒ අස්සට මේ වගේ යූ ටියුබ් චැනලුත් ප්‍රෙයා්ජනවත්. ඊටත් වඩා මේ චැනල් දිහා බලද්දි උයන්න ආසා හිතෙනවා. මේවයෙ අය ලොකු තොප්පි දාලා නැහැ. හදන හැන්දෙන්ම කාලා බලනව. හරිම සිම්පල්. ඒවගේම මේවයෙ පොඩි පොඩි කුකින් ටිප්ස් තියෙනවා. ඒ කුකින් ටිප්ස් එක්ක ඔබේ කෑම තවත් රසවෙයි. ආහ් ඒ වගේම මේ හදන ගොඩක් කෑම යුරෝපීය දිවකට සෙට්වුනාට සිංහල දිවකට තව මිරිස් රස චුට්ටක් ඕන විත්තිය මතක තියාගන්න.

1. BBQ Pit Boys

බාබකියු වැඩේට නං මේ වීඩියෝ ටික බලන එක හොඳටම සෙට්. කොල්ලො සෙට් වෙද්දි නැගලම යන දෙයක් වෙච්ච බාබකියු පාරක් රස නැතිවෙන්නෙ පලපුරුද්ද මදි කම හින්ද කියල හිතෙනවනං මේ තමයි ඒකට හොඳම විසඳුම. මේ චැනල් බලල බාබකියු පාරක්, ස්ටේක එකක්, බර්ගර් එකක් ‍එක්ක සෙට් වෙන්න මස් වගේම මාළුවලට කැමති අයටත් බාබකියු පිට් බෝයිස් කියන්නෙ නියම චැනල් එකක්. ඔක්කොමටත් වඩා නිර්මාණශීලීව මේක කරලා තියෙන නිසාත්, ඒ කරල තියෙන දේ හැමෝටම තේරෙන නිසාත් මේ වැඩේ නැගල යයි. අනිවා ට්‍රයි කරල බලන්ඩ!

 

2. Nicko’s Kitchen

ලොකු කඩවල්වලින් ලොකු ගනං දීල බඩත් හරියට පිරෙන්නෙ නැතුව, මොනව දෙනවද කියල දන්නෙත් නැතුව, අතේ තියෙන හැම සතේම දීලා කාලා එනවට වඩා දෙයක් මෙතනිං අත්විඳින්න පුළුවන්. ඔය ලොකුයි කියන කෑම හදාගන්න විදිය මෙතන තියෙනවා. අනිවා එකේ අතරින් පතර යන කෑම ලෙසන්ස් වලදි වගේම ඔගොලොන්ට තේරෙන විදියට පහසුවෙන් කෑම උයන විදිය මේ යූ ටියුබ් චැනල් එකෙනුත් සෙට් කරගන්න පුළුවන්. කේක් ජාති වගේම වෙනස් වෙනස් විදියෙ විවිධ රසයෙ කෑම නිකෝගෙ කෑම කඩේ තියෙනව. ගිහිං බලන්න.

 

3. Tastemade

මෙය නොබැලූ දෑස් මක්කටෙයි කියල තමයි අහන්න තියෙන්නෙ. ටේස්ට් මේඩ් කියන්නෙ ලෝකෙ ප්‍රසිද්ධම කුකින් චැනල් එකක්. ෆේස්බුක් එකෙත් වැඩියෙන් ෂෙයා වෙන මේ කෑම වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙන්නෙ මේක මේගොල්ලො ඉදිරිපත් කරන ලස්සන විදිය නිසාමයි. ඒ ලස්සනත් එක්ක බලද්දි කෑම හදනවටත් වඩා බලාගෙන ඉන්නයි හිතෙන්නෙ. හැමදාම කන කෑම ජාතිවල වෙනස් විදි වගේම, ඒ දේවල් ලාංකික අපිට හරියන විදියට කට දැවිල්ලට හැදෙන නිසාත් ටේස්ට්මේඩ් නැගලම යනවා. උදාහරනෙකට මේ පීසා ඩිප් එක හදන විදිය බලන්න.

 

4. Jamie Oliver

ටීඑල්සී වගේම වෙනිං ලෙෂර් චැනල්ස් බලන අයට ජේමි ඔලිවර් කියන්නෙ නුපුරුදු කෙනෙක් නෙමෙයි. ඒ වගේම අපේ පර්පරාවෙ ගොඩක් ගෑනු ළමයි ජේමි ඔලිවර්ට පෙම් කරනවා වගේම ඒ වගේ පිරිමියෙක් හොයන්නත් හීන මවං ඉන්නවා. ඒ ජේමිගේ කුකින් ටැලන්ට් එක සහ එයා ඒක කියල දෙන විදිය නිසයි. ජේමිගේ කුකින් වැඩ වල කෑලි ගොඩක් තියෙනවා. එක, එයා ඒ ඒ කල්චර්වලට හරියන්න හදනවා. දෙක, අඩු වෙලාවකින් උයන්න කියලා දෙනවා. තුන, වියදං අඩුවෙන් උයන්න කියලා දෙනවා. හතර, ඉතුරු වෙච්ච කෑම වලින් උයන්න කියලා දෙනවා. පහ, උයන්න ඕන කරන කවුරුත් නොදන්න මූලිකම ටිප්ස් හරි ලේසියෙන් ඔලුවට දානවා. ඒ වගේම ජේමි ඒ කෑම හදලා ඉවරවෙලා කන විදිය දැක්කම උයන්නම හිතෙනවා.

 

5. VahChef

මේ සෙට් එකෙන් ලංකාවට ලඟම යූටියුබ් කෑඹ චැනල් එක තමයි මේ. කරන්නෙ සුපිරි ඉන්දියන් පොරක්. රා දාලා හදන චිකන් කරියක් වගේ අපිටම හුරු පට්ට කෑම සෙට් එකක් පොර ගාව තියෙනව. මේක කරන විදියත් මරු කොමික්. ඊටත් වඩා මෙතන වෙජිටේරියන් අයටත් කෑම හොයා ගන්න පුළුවන්. මෙයාගෙ බටර් චිකන්, කරපිංචා චට්නි, සියඹලා බත් එක දැකපු කෙනෙක් ඒවා හදන්න ට්‍රයි නොකර ඉන්නෙ නං නැහැ.

 




Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ආහාරපාන

කේක්, පෑන්කේක් ++! සමපෝශ / ත්‍රිපෝශ යොදා පවුලට හදන්න නියම ට්‍රීට්ස් 5ක් – Hela FM Media

Published

on


 

ත්‍රිපෝශ සහ සමපෝශ කියන්නෙ පෝශණ ගුණයෙන් ඉහල කුඩා දරුවන්ට වගෙම වැඩිහිටි අයටත් සුදුසු ආහාරයක්. හැබැයි අග්ගලා හදලා හෝ සීරියල් එකක් විදියට එහෙමත් නැත්නම් කැඳ එකක් විදියට මිසක් මේ දේවල් වලින් වෙන හදන්න කෑමක් ගොඩක් අය දන්නෙ නෑ.

ඒත් මේ ගුණදායී පිටි වර්ගයෙන් වෙනස් රසවත් කෑම ජාති කීපයක් හදාගන්න පුළුවන්.

 

1. Samaposha Coconut Cookies – ගේමක් නෑ
Source – tin-sport.si
Source – tin-sport.si

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 2
  2. සීනි කප් 2 1/2
  3. බටර් කප් 3/4
  4. බිත්තර 2
  5. වැනිලා ටිකක්
  6. පාන් පිටි කප් 2
  7. බේකින් සෝඩා තේ හැන්දක්
  8. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  9. පොල් කප් 1
  10. ලුණු ස්වල්පයක්

 

  • බටර් මෘදු වනතෙක් එලියෙන් තබා එයට සීනි එක් කර ක්‍රීම් වන තෙක් බීට් කරගන්න. බිත්තර එකින් එක එක් කරමින් නැවත බීට් කරන්න.
  • පිටිවලට බේකින් පව්ඩර් සහ සෝඩා සමඟ ලුණු එක් කර වරක් හලාගන්න. එයට පොල් එකතු කර බිත්තර මිශ්‍රනයට දමා හොඳින් අනාගන්න.
  • හොඳින් බටර් ගා තෙල් කඩදාසියක් දාගත් තැටියක කුකීස් සාදා තබා සෙල්සියස් 180ට කලින් රත් කරගත් උඳුනක දමා විනාඩි 8-9ක් හෝ රන්වන් පාට වන තුරු බේක් කරගන්න.

 

2. Samaposha Pancakes – ගේමක් නෑ
Source – otvetin.ru
Source – otvetin.ru

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. බිත්තර 2
  2. සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 1
  3. පාන් පිටි කප් 1/2
  4. බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
  5. දියකරගත් බටර් මේස හැන්දක්
  6. ලුණු චුට්ටක්
  7. යෝගට් කප් 1/2
  8. සීනි මේස හැන්දක්

 

  • බටර්, බිත්තර, යෝගට් සහ සීනි හොඳින් බීට් කරගන්න.
  • පිටි, සමපෝශ,  බේකින් පව්ඩර් සහ ලුණු එකට මිශ්‍ර කර එයට බිත්තර මිශ්‍රනය එක් කර හොඳින් කලවම් කර බැටරයක් සාදාගන්න.
  • නොන්ස්ටික් තැටියක මේ මිශ්‍රනය තරමක් මහතට සිටින සේ දමා උඩ බුබුළු නැගෙන විට අනෙක් පස දමා දෙපැත්ත පුළුස්සා ගන්න.
  • මේපල් සිරප් හෝ මී පැණි සමඟ උදෑසන ආහාරයකට වඩා සුදුසුයි.

 

3. Spicy  Samaposha “Meatballs” Curry – පොඩි මහන්සියක්
Source – mind-over-batter.com
Source – mind-over-batter.com

අවශ්‍ය ද්‍රව්‍ය:

සමපෝශ ගුලි සඳහා

  1. සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 1/2
  2. පාන් පිටි මේස හැන්දක්
  3. චොප් කරගත් ලූනු
  4. චොප් කරගත් අමු මිරිස්
  5. කහ, මිරිස් කුඩු චුට්ටක්
  6. ලුණු

 

කරි එක සඳහා

  1. මිටි කිරි කප් 1
  2. අබ ඇට ටිකක්
  3. රම්පෙ, කරපිංචා
  4. කපාගත් ලූනු, සුදු ලූනු
  5. බැදපු පහේ
  6. ලුණු

 

  • සමපෝශ බෝල සඳහා දී ඇති සියළුම දේ එකට එක් කර වතුර ස්වල්පයක් දමා බෝල සාදාගන්න.
  • එම බෝල ටික ගැඹුරු තෙලේ බැදගෙන පසෙකින් තියාගන්න.
  • තෙල් ටිකක් රත් වෙන්න තබා එයට මිටි කිරි හැර කරියට අවශ්‍ය අනෙක් සියල්ල දමා තෙම්පරාදු කර එයට මිටි කිරි දමා උතුරුවා ගෙන බැදගත් සමපෝශ බෝල ටික එක් කර මිශ්‍ර කර මද වේලාවක් අඩු ගින්දරේ ලිප තබා ගන්න.

 

4. Samaposha Cake – පොඩි මහන්සියක්
Source – youtube.com
Source – youtube.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 1
  2. පාන් පිටි කප් 1/2
  3. බිත්තර 2
  4. බටර් කප් 1/2
  5. සීනි කප් 1
  6. වැනිලා
  7. කිරි කප් 3/4
  8. බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
  9. බේකින් සෝඩා තේ හැඳි 1/2

 

  • පිටි වර්ග දෙක, බේකින් සෝඩා සහ පව්ඩර් සමඟ එකට තුන් වරක් හලාගන්න.
  • බටර් සහ සීනි එකට බීට් කර එයට බිත්තර එක් කර බීට් කරගන්න. කිරි සහ වැනිලා එක් කරන්න.
  • බිත්තර මිශ්‍රනයට පිටි ටිකෙන් ටික එක් කර හැන්දකින් පෙරලමින් මිශ්‍ර කරගන්න.
  • හොඳින් බටර් තවරා තෙල් කඩදාසියක් දමාගත් තැටියක දමා සෙල්සියස් 180ට පෙර රත් කරගත් අවන් එකක දමා විනාඩි 30ත් 40ත් අතර කාලයක් බේක් කරගන්න.

 

5. Samaposha Spicy Snack – ගේමක් නෑ
Source – mccainfoodservice.com.au
Source – mccainfoodservice.com.au

අවශ්‍ය ද්‍රව්‍ය:

සමපෝශ ගුලි සඳහා

  1. සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 1
  2. චොප් කරගත් ලූනු
  3. චොප් කරගත් අමු මිරිස්
  4. අබ ඇට ටිකක්
  5. ලුණු
  6. කහ ටිකක්
  7. පොල් කිරි ටිකක්
  8. කෑලි මිරිස් ටිකක්
  9. ගාගත් පොල් මේස හැඳි 3

 

බැටර් එක සඳහා

  1. පාන් පිටි කප් 1/2
  2. කහ චුට්ටක්
  3. ලුණු
  4. වතුර

 

  • තෙල් ටිකක් ලිප තබා සමපෝශ සහ පොල් කිරි හැර අනෙක් සියල්ල එක් කර තෙම්පරාදු කරගන්න.
  • එයට සමපෝශ එක් කර මිශ්‍ර කර බෝල සාදාගත හැකි පදමට කිරි එක් කරගන්න.
  • බැටර් එකට අවශ්‍ය සියල්ල මිශ්‍ර කර බැටර් එකක් සාදා කලින් සාදා ගත් බෝල බැටර් එකේ දවටා ගැඹුරු තෙලේ බැදගන්න. හවස තේ වේලකට අපූරුයි.

 




Hela FM Media Network

Continue Reading

ආහාරපාන

Easy Cheesy කෑම රෙසිපි 5ක් – Hela FM Media

Published

on


 

චීස් කන්න කවුද කැමති නැත්තෙ? ලොකු පොඩි අපි කවුරුත් චීස් වලට කැමති නිසාම අනිවා අපි චීස් වලින් හදන්න පුළුවන් Easy Cheesy Snacks ටිකක් ඔයාලට අරන් එන්න හිතුව. බලන්න මේව හදන්න කොච්චර ලේසිද කියල.

 

1. Mozzarella Sticks
Source – fifteenspatulas.com
Source – fifteenspatulas.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. මහතට දිගට කපා ගත් මොට්සරෙලා චීස්
  2. බීට් කරගත් බිත්තරයක්
  3. පාන් කුඩු
  4. පාන් පිටි කප් 2/3
  5. කෝන් ෆ්ලා 1/3
  6. ලුණු
  7. සුදුලූනු පව්ඩර් (කැමතිනම්)
  • පිටි වර්ග දෙක මිශ්‍ර කරගන්න. වෙනම බඳුනක සුදු ලූනු පව්ඩර් සහ ලුණු පාන් කුඩු වලට මිශ්‍ර කර පසෙකින් තබන්න.
  • මොසරැල්ල ස්ටික්ස් ගෙන පිටි මිශ්‍රණයේ දවටා ගසාගත් බිත්තරයේ තවරන්න.
  • පාන් කුඩු මිශ්‍රණයේ දවටා ගැඹුරු තෙලේ තප්පර 30ක් පමණ බැදගන්න.

 

2. Cheesy Sausages Balls
Source – pillsbury.com
Source – pillsbury.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. කිරි කප් 1/4
  2. ගා ගත් මොට්සරෙලා චීස් කප් 1/4
  3. කුඩාවට කපා ගත් චෙඩාර් චීස් කප් 3
  4. පොඩි කරගත් සොසේජස් කප් 4  (සොසේජස් වෙනුවට තම්බා පොඩි කරගත් මස් ගන්නත් පුළුවන්)
  5. සිහින්ව කපා ගත් පාස්ලි ටිකක්
  6. පාන් පිටි කප් 1
  7. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  • සෙල්සියස් 180ට අවන් එක රත් වෙන්න තබා බේකින් ට්‍රේ එකකට හොඳින් තෙල් හෝ බටර් තවරා ගන්න.
  • පාන් පිටි වලට බේකින් පව්ඩර් එක් කර තෙවරක් හලාගන්න.
  • සියළුම දේ හොඳින් මිශ්‍ර කර කුඩා බෝල සාදා බේකින් ට්‍රේ එක මත තබා විනාඩි 20ක් හෝ රන්වන් පැහැ වන තුරු උඳුනේ බේක් කරගන්න.

 

3. Mac & Cheese Cups
Source – whiskandheels.com
Source – whiskandheels.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. තම්බා ගත් මැකරෝනි කප් 6
  2. ගා ගත් මොට්සරෙලා චීස් කප් 2 (අමතරව උඩින් ඉස ගැනීමට ටිකක් අවශ්‍යයි)
  3. කිරි කප් 1
  4. හැපී කව් චීස් වෙජස් 4
  5. තම්බා පොඩි කරගත් මස්
  6. ගම්මිරිස් කුඩු
  7. චොප් කරගත් මාළු මිරිස් සහ ලූනු
  8. බැද ගෙන කුඩාවට කඩා ගත් බේකන් (කැමති නම් චිකන් බේකන් ගන්න පුළුවන්)
  • මැකරෝනි වලට මොට්සරෙලා එක් කර හොඳින් මිශ්‍ර කර බටර් තවරා ගත් මෆින් ට්‍රේ එකක මැද ඉඩ හිටින ලෙස අතුරා ගන්න (කප් එකක් ආකාරයට.)
  • චීස් වෙජස් සහ කිරි බ්ලෙන්ඩ් කර ක්‍රීම් එකක් සාදා පසෙකින් තබා ගන්න. අනෙක් සියල්ල එකට මිශ්‍ර කර සාදා ගත් මැකරෝනි කප් වලට පුරවා චීස් මිශ්‍රණය උඩින් වත් කරන්න.
  • එයට මොට්සරෙලා චීස් ඉස සෙල්සියස් 180ට පෙර රත් කරගත් අවන් එකක දමා විනාඩි 15ක් බේක් කරගන්න.

 

4. Easy Cheesy Potato Kieves
Source – hafafoods.com
Source – hafafoods.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. තම්බා පොඩි කරගත් අල
  2. සිහින්ව කපා ගත් පාස්ලි කොල
  3. චීස් වෙජස්
  4. බිත්තරයක්
  5. ලුණු
  6. ගම්මිරිස් කුඩු
  7. පාන් කුඩු
  8. සුදු ලූනු පව්ඩර් (කැමති නම්)
  • පොඩි කරගත් අල වලට ලුණු එක් කර මිශ්‍ර කරගන්න.
  • චීස් වෙජස් ටික හොඳින් පොඩි කර එයට සුදු ලූනු පව්ඩර් සහ පාස්ලි එක් කරගන්න.
  • අල ටිකක් අතට ගෙන එය පැතලි කර චීස් මිශ්‍රණයෙන් ටිකක් මැදට තබා හොඳින් ආවරණය වෙන පරිදි බෝලයක් සාදා ගන්න. (මෙය හොඳින් අතින් තද කර බෝල කර ගත යුතුයි. නැත්නම් බැදීමේදී කැඩී යන්න පුළුවන්)
  • බිත්තරය තරමක් ගසා ගෙන සාදා ගත් අල බෝල බිත්තර වල තවරා පාන් කුඩු වල තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

 

5. Cheesy Bread Cups
Source – nomsaurus.com
Source – nomsaurus.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. පාන් පෙති කීපයක්
  2. ගා ගත් මොට්සරෙලා චීස්
  3. බිත්තර 2
  4. චීස් වෙජස් 4
  5. කිරි කප් 1/2
  6. තම්බා කුඩා කොටු කපාගත් අල
  7. බැද කැබලි කඩාගත් බේකන්
  8. චොප් කරගත් ලූනු
  9. ගම්මිරිස් කුඩු
  10. සිහින්ව කපාගත් පාස්ලි
  • කිරි කප් 1/4 සහ බිත්තර හොඳින් ගසා ගෙන පාන් කැබලි කඩා බිත්තර මිශ්‍රණයේ පොඟවා බටර් ගා ගත් මෆින් ට්‍රේ එකක කප් ආකාරයට සිටින්න අතුරා ගන්න.
  • ඉතිරි කිරි කප් 1/4 සහ චීස් වෙජස් බ්ලෙන්ඩ් කර ගෙන මොට්සරෙලා චීස් හැර අනෙක් සියල්ල එයට මිශ්‍ර කර සාදාගත් පාන් කප් වලට පුරවන්න.
  • මොට්සරෙලා චීස් උඩින් ඉස සෙල්සියස් 160ට පෙර රත් කරගත් උඳුනක විනාඩි 20- 25ක් බේක් කරගන්න.

 

 

 




Hela FM Media Network

Continue Reading

ආහාරපාන

උපන්දින කේක් එකක් අපිට ඕන විදියට නිර්මාණය කරගන්න කොළඹ තියෙන හොඳ තැන් 7 ක් – Hela FM Media

Published

on


 

පාන් නැත්නං කේක් කාපල්ලා කියලා මාරි ඇන්ටොයිනට් ‍රැජිණ කිව්වට ඉතින් පාන් කන ගාණට කේක් කන්න බෑනේ. ලංකාවේ අපි ඉතින් කේක් කන්නේ මොකක් හරි විශේෂයක් තියෙනවා නං තමයි. එහෙම නැතුව හවස තේ එකකට නං ඔය ආරළු බුරළු නැති බටර් කේක් කෑල්ලක් කෑවොත් තමා. දැන් මේ කියන්න යන්නේ විශේෂ අවස්ථාවකට හරියන කේක් එකක් ගන්න කොළඹ අවට තියෙන තැන් කීපයක් ගැන තමයි. ඒකත් නිකම්ම කේක් එක ගන්න නෙවෙයි, අපිට ඕන විදියේ ඩිසයින් එකකට උපන් දින කේක් එකක් හරි, වෙන විශේෂ අවස්ථාවකට හරි යන කේක් එකක් හරි හදාගන්න ඕඩරේ දෙන්න පුලුවන් කේක් ඩෙකරේට් කරන තැන් කීපයක් ගැන. ඒ කියන්නේ බෙස්පෝක් කේක් ඩෙකරේටර්ස්ලා කීප දෙනෙක් ගැන.

 

1. The Colombo Cafeteria
Cake Decorators
Source – facebook.com/thecolombocafeteria

කලම්බු කැෆටීරියා කියන්නේ මෑතකදී අවධානයට ලක්වුණු කේක් නිර්මාණකරුවෙක් කිව්වට කමක් නෑ. හැබැයි මේ අයගේ කේක් වල රේන්ජ් එක වගේම කොලිටිය ගැනත් සතු‍ටු වෙන්න පුලුවන්. රාස්ප්බෙරි/ස්ට්‍රෝබෙරි ඔම්බ්‍රෙ කේක්, හාෆ් නේකඩ් කේක්, චොකලට් බ්‍රවුනි කේක්, පිනාටා කේක් වගේ ෆැන්සි කේක් වගේම නිකම්ම චොකලට් කේක් එකක් වුනත් කලම්බු කැෆටීරියා කට්ටිය වෙනස්ම තාලෙකට, රසකට හදනවා කියලා කියන්න පුලුවන්. මේ කේක් එකක්ම අපිට ඕන විදියට ඩිසයින් කරවලා ගන්නත් පුලුවන්.

තැන:

 

2. The Cake Factory
Cake Decorators
Source – facebook.com/TheCakeFactoryColombo

පහුගිය දවස් වල සෑහෙන්න වර්ණනා වුණු තවත් බෙස්පෝක් කේක් නිර්මාණකරුවෙක් තමයි කේක් ෆැක්ටරි. මේ කට්ටියත් කප්කේක්, බ්‍රවුනි, ලව් කේක්, නිබ්ල්ස් ඇතුළු කේක් වර්ග සහ වෙනත් අතුරුපස බොහෝමයක රේන්ජ් එකක් ආවරණය කරන අතරේම බර්ත්ඩේ කේක්, ඇනිවසරි කේක්, වෙඩින් කේක් වල ඉඳන් කාර්යාලීය විශේෂ අවස්ථාවන්ට වුනත් ගැලපෙන කෝපරේට් කේක් පවා නිර්මාණය කරනවා. මේ අයත් එක්ක කතා බස් කරලා තමන්ට ඕන විදියට කේක් එක නිර්මාණය කරගන්න පුලුවන්. නුදුරු අනාගතයේදීම මේ අයගේ වෙබ් අඩවිය හරහා ඔන්ලයින් කේක් ඕඩර් කරන්නත් ඉඩ ලැබේවි.

දුරකථන අංක: 0777382510

තැන: 

 

 

3. The Vanilla Bean Bakery
Cake Decorators
Source – dailymirror.lk

බෙස්පෝක් කේක් වර්ග, කප් කේක් සහ කුකීස් වලට එක්ස්පර්ට් කියලා කියන වැනිලා බීන් බේකරි කට්ටියගේ ෆේස්බුක් පි‍ටුවට ගියහම එක පාරටම තේරෙන දේ තමයි, මේ අයගේ කේක් කොයි තරම් වෛවර්ණද කියලා. ඒ කියන්නේ අර දැක්කහම පොඩි ළමයෙක්ට කන්න ආස හිතෙන විදියේ ලස්සන පාට පිරිලා තියෙන කේක් මේ අය හදනවා. ඒ හින්දම බර්ත්ඩේ කේක් එකක් අපිට ඕන විදියට හදවා ගන්න මෙතන හොඳ වෙයි කියලා හිතන්න පුලුවන්.

දුරකථන අංක: 0776603764

තැන: 

 



 

4. Ambrosia
Cake Decorators
Source – facebook.com/Ambrosialk

දිව්‍යලෝක රහ පරදවන කේක් හදන්න නම් ඉතින් දිව්‍යලෝකේ කෑල්ලක දාපු කේකරි එකක්ම වෙන්න ඕනනේ. මේ කට්ටිය කියන්නේත් ඒ ගොල්ලෝ එහෙමයි කියලා තමයි. හැබැයි ඇම්බ්‍රෝසියා කේක් රස බලපු අයත් කියන්නේ ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියලා. කොළඹ අවට තවත් හොඳ බෙස්පෝක් කේක් කරන කට්ටියක් වුණු ඇම්බ්‍රෝසියා එකට බර්ත්ඩේ කේක් එකක් හරි වෙනත් ඒ වගේ විශේෂ අවස්ථාවකට ඕන කරන කේක් එකක් හරි හදාගන්න පුලුවන් අපිට ඕන ඩිසයින් එක යවලා. ඒ ඇරෙන්න නුටෙලා කප් කේක් වල ඉඳන් විවිධ අතුරුපසත් මේ අය ගාව තියෙනවා.

දුරකථන අංක: 0777 772 052 / 0777 772 825

තැන: 

 

5. Cake Sri Lanka
Cake Decorators
Source – facebook.com/cakesrilanka, cakesrilanka.com

කස්ටම් ඩිසයින් කරන කේක් ඔන්ලයින්ම ඕඩර් කරන්නත් තවත් තැනක් තමයි කේක් ශ්‍රී ලංකා. මේ කට්ටිය කොළඹ සහ නුවර ඩිලිවරි කරන්නේත් නොමිලේ. විශේෂයෙන්ම වෙඩින් කේක් එකක්, බර්ත්ඩේ කේක් එකක්, පාටි කේක් එකක් වගේම කෝපරේට් කේක් එකක් වුනත් මේ අයට දීලා අපිට වුවමනා විදියට නිර්මාණය කරගන්න පුලුවන්. ඒ වගේම මේ අයගේ කප්කේක් වලත් ඒ කට්ටියටම ආවේණික ස්ටයිල් එකක් තියෙනවා. ඕන නම් කප්කේක් වුනත් අපිට ඕන විදියට හදාගන්න පුලුවන්.

දුරකථන අංක: 0114386591

තැන:

 

6. The English Cake Company
Cake Decorators
Source – facebook.com/TheEnglishCakeCompany

ඉංග්‍රීසි කේක් කොම්පැණිය ගැන මේ වෙනකොට සෑහෙන්න දෙනෙක් දන්නවා. කොළඹ හොඳම හෝම්මේඩ් බෙස්පෝක් කේක් ගන්න තියෙන තවත් තැනක් වෙන මෙතන හදන කේක් වලට කෘත්‍රිම රසකාරක හරි වර්ණකාරක හරි දාන්නෙ නෑ කියලා ඒ කට්ටිය කියනවා. හැබැයි ඒකෙන් රසේ අඩුවක් වෙලා නෑ. මේ කට්ටිය ගාව විවිධ අවස්ථා වලට හරියන කේක් විතරක් නෙවෙයි, අතුරුපස, රසකැවිලි, පුඩින්, යෝගට් සහ තවත් බොහෝමයක් දේ තියෙනවා කියලත් කියන්නම ඕන.

දුරකථන අංක: 0112501344

තැන: 

 

7. Hiru Designs
Cake Decorators
Source – facebook.com/HiruDesigns

කොළඹට ටිකක් ඈතින් තියෙන තැනක් වුනත්, කොළඹ තියෙන බෙස්පෝක් කේකරි එකකට වඩා ඉතාමත් අඩු ගාණකට, ඒත් හොඳ කොලිටියට තමන්ට ඕන විදියේ කේක් එකක් නිර්මාණය කරගන්න පුලුවන් තැනක් තමයි හිරු ඩිසයින්ස් කියන්නේ. විශේෂයෙන්ම බර්ත්ඩේ කේක් සහ වෙඩින් කේක් වලට විශේෂීකරණය වෙලා තිබුණත්, වෙනත් ඕනම අවස්ථාවකට ගැලපෙන කේක් එකක්, කප් කේක් ඩිසයින් එහෙමත් මෙතනින් කර ගන්න පුලුවන්.

දුරකථන අංක: 0777456776

තැන: 

 

මේ ඇරෙන්න කොළඹ තියෙන ප්‍රධාන පෙලේ හැම හෝටලයකම වගේ බේකරියෙන් කස්ටම් මේඩ් කේක් ගන්න පුලුවන්. එතකොට පෙරේරා ඇන්ඩ් සන්ස්, ස්පොන්ජ්, ෆැබ් වගේ තැන්වලිනුත් අපිට ඕන විදියට කේක් එකක් නිර්මාණය කරවාගන්න පුලුවන්. කොළඹ සහ අවට තියෙන ඔයාලා දන්න හොඳ කේක් ඩෙකරේටර්ස්ලා ඉන්නවා නම් අනිවා පහළින් කමෙන්ට් කරන්න. අපි එතකොට ඒ අය ගැනත් ආටිකල් එකක් කරනවා.

 

 


 
Cover Image Source – facebook.com/thevanillabeanbakery.lk
 




Hela FM Media Network

Continue Reading

උණුසුම් පුවත්

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd